අපගේ දැක්ම

“ජන දිවියට සමෘද්ධිමත් හෙටක්….”

අපගේ මෙහෙවර

සහභාගීත්ව ප්‍රවේශයක් තුළ කාර්යක්ෂමව සහ ඵලදායීව සම්පත් කළමනාකරණය කරමින් පළාතේ යහපත් මාර්ග පද්ධතියක් ඇති කිරීමටත්, ස්ථිර නිවාස නොමැති අයට හිසට සෙවණක් ලබා දීමටත්, ජලය නොමැති කමින් පීඩා විඳින ජනතාවට සහනයක් ලබා දීමත්, සමූපකාර සමිති කාර්යක්ෂමකාවයෙන් හා ඵලදායීතාවයෙන් යුක්තව පවත්වාගෙන යාමට දායක වීමත්, වතු ජනතාවගේ ජීවන තත්වය නංවාලීම උදෙසා දැනුම කුසලතා වර්ධනය කිරීමටත්, වතු ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් තුළින් ඌව පළාත් වාසී ජනතාවගේ තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය සහතික කිරීම.

හැඳින්වීම

“ජන දිවියට සමෘද්ධිමත් හෙටක්” දැක්ම යථාර්ථයක් කරගනු වස්, සහභාගීත්ව ප්‍රවේශයක් තුළ කාර්යක්ෂමව හා ඵලදායීව සම්පත් කළමනාකරණය කරමින් ඌව පළාත තුළ සී හා ඩී ශ්‍රේණිවල මාර්ග සංවර්ධනය, නිවාස සංවර්ධනය, ජල සම්පාදනය, වතුයටිතල පහසුකම් සංවර්ධනය සහ සමූපකාර සංවර්ධනය මෙම අමාත්‍යාංශය මඟින් සිදුකෙරේ.

මාර්ග සංවර්ධන විෂය ගත්විට ඌව පළාත තුළ වන සී හා ඩී ශ්‍රේණි වල මාර්ග නඩත්තු කිරීම වැඩි දියුණු කිරීම, අමාත්‍යාංශයේ අධික්ෂණය හා මෙහෙය වීම යටතේ ඌව පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් සිදු කෙරේ. එමෙන්ම විදේශාධාර ව්‍යාපෘති මෙහෙය වීම හා  ග්‍රාමීය පාලම් ඉදි කිරීම, නඩත්තු කිරීමද මේ යටතේ සිදු කෙරේ.ඒ තුළින් පලාතේ ජනතාවගේ මාර්ග අවශ්‍ය තාවය සම්පූර්ණ කිරිම සඳහා විශාල දායකත්වයක් මෙමඟින් සැපයේ.

මෙම අමාත්‍යාංශයේ දෙවන මෙහෙවර වන්නේ, නිවසක් තනා ගැනීමට නොහැකිව අසරණ භාවයට පත් ජනතාවට නිවාස තනා ගැනීම සඳහා ණය හා ආධාර ලබා දීමයි. ඌව පළාත තුළ ජීවත්වන සමස්ථ ජන ගහනයෙන් සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් සිය නිවාස අවශ්‍යතාවය නිසි ආකාරව සම්පූර්ණ කර ගත නොහැකිව අසරණ භාවයට පත්ව සිටී. එවන් ජනතාවට සවියක් වෙමින් නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කරගනු වස් ණය හා ආධාර දීම තුළින් , විශේෂ අවශ්‍යතා සහිත පවුල් සඳහා නිවාස තනා දීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් දායක වේ.

ඌව පළාතේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව වියලි ප්‍රදේශ වල පානීය ජල අවශ්‍යතාවය දැඩිව පවතී. වසරේ වියලි කාලගුණයක් පවතින කාල වලදී  මෙම ප්‍රදේශ වල ජනතාව දැඩි ලෙස පිඩාවට පත්වේ. මෙවන් ගැටළුද සැලකිල්ලට ගනිමින්, ජල සම්පාදන මණ්ඩලය හෝ වෙනත් ආයතන මඟින් පානීය ජල පහසුකම් නොලබන  ඌව පළාතේ ජනතාවගේ  එදිනෙදා පානීය ජල අවශ්‍යතා සපුරා දීමට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමදමෙම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයභාරයක් වේ.

ඌව පළාතේ සමූපකාර සමිති වල ඵලදායීතාවය වැඩි දියුණු කිරීම සඳහා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහෙය වීම,  සම්බන්ධීකරණය කිරීම හා පළාතේ ජනතාවට ප්‍රශස්ථ පාරිභෝගික සේවාවක් ලබා දීමට දායක වීම තුළින් ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා ගැනීමට සහය වීමද මෙම අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ.

වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජීවන තත්වයනඟා සිටුවීම සඳහා වතු යටිතල පහසුකම් සංවර්ධනය හා මානව සංවර්ධනය වැඩි දියුණු කිරීම මෙමඟින් ඉටුවන තවත් ප්‍රධානතම කාර්යයකි. මේ යටතේ වතු මාර්ග ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය, පිරිසිදු පානීය ජල පහසුකම් ලබා දීම, සනීපාරක්ෂක පහසුකම් ලබා දීම, නිවාස අධාර ලබා දීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා බහු කාර්ය ගොඩනැඟිලි ඉදිකිරීම. වතු ජනතාවගේ සමාජ, සංස්කෘතික අංශයන්ගේ සංවර්ධනය සඳහා දායක වීම මෙමඟින් සිදුවන සමාජ මෙහෙවරක් වේ.

මෙකී අරමුණු ඉටු කර ගැනීම තුළින් තිරසර සංවර්ධන ඉලක්කද සහිතව ජන දිවියට සමෘධිමත් හෙටක් උදා කර දීම සඳහා ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමූපකාර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය දායකත්වය සපයයි.

 

[/retweet]