ජලසම්පාදන වැඩසටහන

ඌව පළාතේ ජීවත්වන පවුල් අතරින් පිරිසිදු පානීය ජලය නොලබන පවුල් 21.9% ක් ජීවත් වේ. මෙම පවුල් සදහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහණ මණ්ඩලය මඟින් හෝ  වෙනත් ආයතන මඟින් ලබාදෙනු ලබන පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට වරම් අහිමි වු හුදකලාවු ජන කොටසකි. මෙම ජනතාව ජලය සපයා ගනු ලබන්නේ

  • ජල මූලාශ්‍ර සහ ජල රක්ෂිත වලින්
  • අනාරක්ෂිත ලිං වලින්
  • වෙනත්

ආදි වශයෙන් පෙන්වා දිය හැකි ක්‍රමයන් තුළිනි.

ඌව පළාතේ ජලසම්පාදන අමාත්‍යාංශය මඟින් පළාතේ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකිව පීඩා විදින ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතා ඇති  ජල යෝජනා ක්‍රමයන් පිළිබඳව හා ඒ තුළින් ආවරණය වන ප්‍රතිලාභී පවුල් පිළිබඳ තොරතුරු අධ්‍යයනය කර ඊට අදාල විස්තර මේ වන විටත් යාවත්කාලීන කර ඇත. ඌව පළාතේ දරිද්‍රතාවයෙන් වැඩි ජලය නොමැතිකමින් පීඩා විදින ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සඳහා විසදුම් ලබාදිය හැකි ජල යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කළ යුතුව පවති.

මේ වන විට ඌව පළාතේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය සඳහා පිරිපහදු නොකරන ලද   ජලය පානය කිරීම ආසන්තම හේතුව ලෙසත්, අදාළ ප්‍රදේශයන්වල කෘෂිකර්මාන්ත කටයුතු වලදී භාවිතා කරන කෘෂි රසායනික ද්‍රව්‍ය හා පලිබෝධ නාශක ජලයට මුසුවීම තුලින් හා එම ජලය පිරිපහදු කිරිමකින් තොරව පානය කිරීම නිසා ඌව පළාතේ රිදීමාලියද්ද, මහියංගණය, වැලිමඩ, ගිරාදුරුකෝට්ටේ, තණමල්විල, සෙවනගල, බුත්තල, හම්බෙගමුව යන ප්‍රදේශයන්වල  වල වකුගඩු රෝගයට ගොදුරු වී ඇති රෝගීන් වාර්තා වීම පෙන්වා දීමට පුළුවන.

මෙම තත්වය ජාතික ප්‍රශ්නයක් ලෙස උග්‍ර වෙමින් පළාතේ ජනයාගේ සෞඛ්‍යයට හා ආර්ථිකයට ඝෘජුවම බලපා ඇත. මෙම ගැටළුව අවම කර ගැනීමට  මෙම ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් ආංශිකව  දායක විය හැක.

“ජලය” මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ප්‍රමුඛ අවශ්‍යතාවයකි. ඌව පළාතේ විශේෂයෙන්ම වියලි ප්‍රදේශ වල පානීය ජල අවශ්‍යතාවය දැඩිව පවතී. වසරේ වියලි කාලගුණයක් පවතින කාලවලදී මෙම ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වේ. එමෙන්ම ආම්ලිකතාවය සහිත ජල පරිභෝජනය හේතු කොටගෙන වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවීමද සිදුවේ. එමෙන්ම ජල පෝෂක ප්‍රදේශ අපවිත්‍ර වීම හේතුවෙන් විවිධ  සෞඛ්‍ය ගැටළු පැන නැඟීමේ අවදානමක්ද පවතී. මෙම අවශ්‍යතා හඳුනා ගනිමින් ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් ජලය නොමැතිකමින් පීඩාවිඳින ජනතාවට සහනයක් ලබාදීම අරමුණු කරගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

  • නව ජල යෝජනා ක්‍රම ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය, හා පුනරුත්ථාපනය කිරීම.
  • පොදු ළීං ඉදිකිරීම.
  • ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය හා සංවර්ධනය කිරීම – ඌව පළාතේ දිනෙන් දින විනාශ මුඛයට ගොදුරුවන ජල පෝෂක සංරක්ෂණය හා සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රජා සංවිධානවල දායකත්වයද සපයා ගනිමින්  බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජල පෝෂක සං‍රක්ෂණයට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.
  • ඌව පළාතේ ප්‍රජා ජලසම්පාදන ව්‍යාපෘතිවල ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම – ඌව පළාතේ ප්‍රජා ජලසම්පාදන ව්‍යාපෘතිවල ජලයේ බැරලෝහ  පරීක්ෂා කිරීම එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක ක්‍රියාත්මක වන ප්‍රජාජල සම්පාදන ව්‍යාපෘති වල බැරලෝහ පරීක්ෂාවන් සිදුකර  පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ප්‍රජාව දැනුවත් කිරීම.
  • ඌව පළාතේ ප්‍රජාජල සම්පාදන ව්‍යාපෘතිවල නිලධාරීන් දැනුවත් කිරීම – ඌව පළාතේ ස්ථාපිත මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ පවතින ප්‍රජාජල සම්පාදන ව්‍යාපෘතිවල නිලධාරින් දැනුවත් කිරීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්‍රජා  ජලසම්පාදන භාර නිලධාරීන් ඒ ඒ විෂය ක්ෂේත්‍ර පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය භාවිතයේ  වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම යන වැඩසටහන් ක්‍රියාවට නංවා ඝෘජු ප්‍රතිලාභීන් හා වක්‍ර ප්‍රතිලාභීන් වැඩි පිරිසකට ප්‍රතිලාභ අත්කර දි ඇත.